පතොක් ප්‍රේමය

\”මම ලිවීම තුළින් නිවීමක් දකිනවා\” – අමිල නුවන් ශ්‍රී ශාන්, පතොක් ප්‍රේමිය සමඟින්

කලාව යනු මිනිසාගේ හැඟීම් සමුදායන් සංතෘප්ත කරන්නා වූ අපූර්ව මාධ්‍යකි. විවිධ වූ කලා මාධ්‍යන් තුළින් කලාකරුවා තම පරිකල්පනය පිළිඹිබු කරනු ලබයි. ලිවීම තම ධනය කොටගත් ලේඛකයින් අගනා වූ කෘතීන් පාඨකයාට පිරිනමනු ලබන්නේ \”කියවීම මිනිසා සම්පුර්ණ කරයි\” යන රුවන් වැකිය අරුත් ගන්වමිනි. කවිය වූ කලී නිදහස් බස් වහරකින් සංයමයෙන් ගොඩනැගුණු කියවීමකි, කලාවකි. කවිය යනු \”අනුත්සාහකව ගලා එන ප්‍රබල හැඟීම්\” බව ලෝක ප්‍රකට ඉංග්‍රීසි කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් පවසන්නේ කවිය මිනිසාට ආත්මිකව බැඳී ඇති හරි අපූරු කලා මාධ්‍යක් වන බැවිනි. \”The poet\” නම් කාව්‍යය තුළ ලක්දාස වික්‍රමසිංහ නම් ලාංකික කවියා, හුදු කවියා හඳුන්වා ඇත්තේ රාමුවකට කොටු නොවූ විප්ලවකාරී චරිතයක් ලෙස ට ය. ඉතින් ජපුර සරසවි බිමෙන් එළි දකින කවියන් ද එවැනි ම වූ විප්ලවවාදී, මානව හිතවාදී නිදහස් චින්තකයින් පිරිසකි.

\”පතොක් ප්‍රේමිය\”, එවැනි සුන්දර කවීත්වයකට හිමිකම් කියන ජපුර විද්‍යාර්ථියෙකුගේ කුළුඳුල් දොරට වැඬුමකි. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා විශේෂවේදී උපාධිධාරී අමිල නුවන් ශ්‍රී ශාන් සොයුරායි. කවියේ විවිධ වර්ණ මානයන් ස්පර්ශ කරන නවමු අත්දැකීමක රසමුසු තැන් ගළපන ජපුර ලියන්නෝ සොයා ගිය ගමනේ තවත් එක් සොඳුරු පිළිසඳරක දිගහැරුම යි.

ප්‍ර – ඔබ පිළිබඳ කෙටි හැඳින්වීමක් දුන්නොත්?

මම නමින් අමිල නුවන් ශ්‍රී ශාන්. ගම පන්නිපිටිය. ඉගෙන ගත්තෙ කොට්ටාව උතුර ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරලා දැනට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ගැන මම දකින විදිහට නම් සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. මනුස්සකමට ආදරය කරන කෙනෙක්. හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සහ කරන කෙනෙක්.

ප්‍ර – ඔබ ලේඛකයෙක් මෙන්ම කවියෙක්. මේ ලිවීම පිළිබඳ දැනෙන්නෙ කොහොමද?

ලිවීම ගොඩක් වෙලාවට මට සමීප වෙන්නේ හැගීම් පිට කරන හොඳම ක්‍රමයක් විදිහටයි. මොනවාම හරි දෙයක් ගැන හිත ඇතුළේ කැරකෙන කරදරකාරී හැඟීමක් කෑ ගහලා කිව්වා වගේ සැහැල්ලුවක් ලිවීම තුළින් මම පුද්ගලිකව ම අත්විඳලා තියෙනවා. ඉතින් මම ලිවීම තුළින් නිවීමක් දකිනවා.

ප්‍ර – ඇයි ඔබ එවැනි කාව්‍ය සංග්‍රහයක් සම්පාදනය කළේ? ඊට මුල් වූ හේතු මොනවද?

කවි ලියනවාට වඩා කවි කියවන්න ආස කරන කෙනෙක් මම. ඒ අතරෙ හෙමි හෙමින් හිතට එන අදහස් එක දෙක කවියට පෙරළලා ඒවා එකතු වෙලා තිබ්බා. ගොඩක් වෙලාවට මම ලියන්නෙ ෆෝන් එකේ. ඉතින් වෙලාවකට ඒවා නැති වෙලත් යනවා. ඒ නිසා ඒ ටික එකතු කරගන්න හිතලා තමයි මම මෙහෙම එකතු වෙච්ච කවි ටික අරං අපේ ගුරුවරුන්ගෙන්, විශිෂ්ට කවියන්ගෙන් පොතක් කරන්න තරම් හොඳ මට්ටමක ඒ වචන ගැලපුම් තියෙනවද කියලා බලන්නෙ. ලැබුණු යහපත් ප්‍රතිචාර එක්ක තිබුණු අඩුපාඩුත් හදාගෙන ඉතින් කොහොම හරි කැම්පස් එකේ අන්තිම මාස කීපය තුළ දි හිතේ තිබ්බ ආසාවක් ඒ විදිහට ඉෂ්ට කරගන්න හැකි වුණා.

ප්‍ර – මේ පොතට පතොක් ප්‍රේමිය කියන නම යෙදීමට හේතුව මොකක්ද?

පොතට නම එන්නේ පොතේ ඇතුළෙ තිබ්බ කවියකින්. ලෝකයෙන් වතුර බිංදුවක්වත් බලාපොරොත්තු නොවී කටුක ජීවිතේ මැද්දේ පතොක් මල් ලෝකය ලස්සන කරන්න පිපෙනවා. ලෝකෙට සුවඳ බෙදනවා. එහෙම ලියැවුණු පුංචි කෙටි කවියකින් තමා පොතට \”පතොක් ප්‍රේමිය\” කියලා නම ලැබෙන්නෙ.

ප්‍ර – මෙහි අන්තර්ගත කාව්‍යන්හි කතා බීජයන් කුමන ආකාරයේ ඒවාද?

පොත පුරාම සියයට අසූවක් පමණ කවි වලට පණ දෙන්නේ මගේ ජීවිතේ මම ලබපු අත්දැකීම් වල හුස්ම වලින් කිව්වොත් නිවැරදි. පොත තුළින් බොහෝ දුරකට මාව කියව ගන්න පුළුවන් කියලා හිතෙනවා.

ප්‍ර – නව කතාවකට හෝ කෙටි කතාවකට මුල පුරන පුවතක් කවි පංතියකින් හෝ නිසදැසකින් ඉදිරිපත් කළ හැකිද? එසේ වුවොත් එම අදහස පාඨකයා ට ඒ අයුරින් ම දිය හැකිද?

පුළුවන්. බොහොම රසවත් ව හා කෙටියෙන් එම අදහස පාඨකයාට ලබා දීමේ හැකියාව කවියට තියෙනවා. කවිය නවකතාවක් හෝ කෙටි කතාවක් හෝ තරම් දීර්ඝව හා පැහැදිලිව විස්තර නො කළත් කවියක සෑම වචනයකට ම පණ පොවන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් සුළු වචන ප්‍රමාණයකින් සම්පූර්ණ කතාවට ම පණ දීලා චිත්‍රපටියක් වගේ කතාව අපිට පෙන්නුම් කරනවා. නිදසුනක් ලෙස අපි කවුරුත් දන්න ටිම්රාන් කීර්ති අයියගෙ \”පොඩ්ඩියේ\” කවි පන්තිය ගන්න පුලුවන්.

ප්‍ර – අද සමාජය කවියෙන් දුරස් වීමට හේතු මොනවාද?

‌මම හිතන්නේ නෑ අද සමාජය කවියෙන් දුරස් වෙලා කියලා. අද බොහෝ දෙනා ඉස්සර කාලෙටත් වඩා කවි කියවනවා කියලා මම හිතනවා. මේ තාක්ෂණික දියුණුවත් ඒකට හේතුවක්. ඉස්සර පොතක් හෝ පත්තරයක් අරගෙන වෙලාවක් වෙන් කරගෙන තමයි කියවන්න තිබුණෙ. දැන් සමාජ ජාල ඔස්සෙ හැම වෙලේම කවි ලියන්න, කවි කියවන්න අවස්ථාව තියෙනවා. නවක කවීන්, කිවිඳියන් බොහෝ ප්‍රමාණයක් අලුතෙන් බිහිවෙනවා. තව තවත් මිනිස්සුන්ට කවිය සමීප වෙනවා කියලයි මම හිතන්නේ. නමුත් කවිය පිළිබඳව හැදෑරීමක් සිදුවෙන එක අඩුයි කියලා කියන්න පුළුවන්. මම තාම \”කවිය\” ඉගෙන ගන්නවා. \”කවිය\” හරි සුන්දර වස්තුවක්. මම හිතනවා මිනිස්සු තවම ඒකෙන් ඈත් වෙලා නෑ කියලා.

ප්‍ර – තරුණ පරපුර කවියට ආකර්ෂණය කර ගැනීමට ආකර්ෂණීය නමක් යම් කිසි වෙනස් ම වූ පරස්පර වචන එකතුවක නමක් භාවිත කළ යුතුද?

ඔබ ඔය අහන්නේ කවි පන්තියකට මාතෘකාවක් යෙදීම ගැන නම් පාඨකයෙකුට හොඳට ඇහැ යන්න හොඳ මාතෘකාවක් තිබීම වැදගත්. කාව්‍ය කෘතියකට වුණත් ලස්සන නමක් යෙදීමත් ඒ වගේමයි. වචන පරස්පර වීම ම නොවෙයි, එය කියවන්න ආස හිතෙන විඳිහට රසවත් එකක් වීම තමයි වැදගත් වෙන්නෙ. ඒක හොඳ වෙළඳ උපායක්.

ප්‍ර – අනුග්‍රහය නැති දක්ෂතාවය ඇති නවක කවීන්ට අතහිත දීමේ වැඩපිළිවෙළකට ප්‍රවිෂ්ට වීමක් තිබේද?

මම තවම එවැනි දේකට ප්‍රවිෂ්ට වෙලා නෑ. මොකද මමත් තවම කවිය ඉගෙන ගන්නවා. හැබැයි කවුරුම හෝ කෙනෙක් මගෙන් එවැනි දෙයකට යමක් විමසුවොත් දන්නා දෙයක් නම් අනිවාර්යයෙන් ඒකට උදව් කරනවා. මට වඩා ඒ ගැන දන්න ප්‍රවීණයෙකු වෙතට හෝ ඔවුන්ගෙ දක්ෂතාවයට ඉඩක් ලැබෙන තැනකට යොමු කරලා උදව් කරන්න මම උත්සහ කරනවා.

ප්‍ර – ලිවීම සම්බන්ධයෙන් ඔබගේ අනාගත කටයුතු කවරේද? මෙවැනිම කෘතියක් පල කිරීමේ අදහසක් තිබේද?

හෙමි හෙමින් ඉදිරියටත් වචන ගැලපේවී. ඒ වචන එක්ක ඉස්සරහට යමක් කරන්නට ඉඩ තියේවි. මම ඒක අනාගතයටම බාර දීමට කැමතියි.

ප්‍ර – කතුවරුන් වීමට බලාපොරොත්තු වන අනාගත පරපුරට ලබා දෙන මගපෙන්වීම නැත්නම් උපදෙස කුමක්ද?

මම විශ්වාස කරන දෙයක් තමයි කතුවරයෙකු නිදහස් මනසකින් සිටිය යුතු බව. පිටින් ලැබෙන එක එක රාමු තුලට කොටු වීමට උත්සහ නොකිරීම වඩා හොඳ යැයි කියලා මට හිතෙනවා. දවසක් රුවන් බන්දුජීව අයියා හොඳ උදාහරණයක් දුන්නා මට මතකයි. බූරුවෙක් සහ මනුස්සයෙක් ගමනක් යන්න පිටත් වෙලා දෙන්නම පයින් යනකොට වටේ පිටේ මිනිස්සු කියන්න ගත්තාලු \” මේ මනුස්සයා නම් හරිම මෝඩ මනුස්සයෙක්. බූරුවෙක් තියාගෙන පයින් යනවා\” කියලා. ඒක අහලා මේ මනුස්සයා බූරුවගෙ පිටේ නැගලා යන්න පටන් ගත්තලු. මෙහෙම දුරක් යනකොට ආපහු තව කට්ටියක් කිව්වලු \” පව් අර අසරණ සතා. මේ මනුස්සයට පයින් යන්න බැරිද? \” වගේ දේවල් කියන්න ගත්තලු. ඒක අහපු මේ මනුස්සයා ආයෙම බූරුවගෙ පිටෙන් බැහැලා බූරුවාව කරේ තියන් යන්න පටන් ගත්තලු. ඊට පස්සෙ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තලු පිස්සු මනුස්සයෙක් කියලා. අන්න ඒ වගේ තමයි සමාජයෙන් එවන එක එක රාමුවලට හැඩ ගැහෙන්න උත්සහ නොකර නිදහස් මනසකින් නිර්මාණකරණයේ යෙදෙන්න පුළුවන් නම් තමන්ටත්, අනුන්ටත් රසවිඳිය හැකි නිර්මාණ බිහිකිරීමේ හැකියාවක් ඇතැයි කියලා මම විශ්වාස කරනවා.

.

ගතානුගතික නොවූ අර්ථ පෝෂිත කවීත්වයේ රස අන්තයන් සොයා යන ගමනට ඔබට J\’pura Flames අපේ හදපිරි සුබ පැතුම්.

Written by: Disala Wimalasena⁩
Designed by: Yasiru Chamalka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top