\”මම ලියන දෙයක් ඔයාට ඔයාගේ කරගන්න පුළුවන් නම් එතන තමා කතුවරයා සාර්ථක වෙන්නේ\” – කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න
ලෝකය සහ සමාජයහි සිදුවන දෑ තත්ත්වාකාරයෙන් දැක ඒ පිළිබඳව සහෘදයා තුළ යථාර්ථවත් හැඟීම් ගොඩ නැංවීමට කරනු ලබන විශේෂ සාහිත්‍ය නිර්මාණයක් ලෙස කවිය හැඳින්විය හැකිය. සෙසු සාහිත්‍ය නිර්මාණ අතුරින් කවිය විශේෂ වන්නේ ප්‍රතිභාපූර්ණ පරිකල්පනය තුළින් සුවිශේෂී කාව්‍ය අලංකාර යොදාගෙන නිර්මාණය කරන බැවිනි.
කවිය කියන්නේ මනුෂ්‍ය ආධ්‍යාත්මයට රිංගිය හැකි මනුෂ්‍යයෙකු භාවමය හා ගුණාත්මක වශයෙන් ඉහළට ඔසවා තැබිය හැකි මාධ්‍යයක්. ඉන් හුදෙක් රස වින්දනයට එහා ගිය දෙයක් මතු කළ හැකියි. යුගයෙන් යුගයට විශිෂ්ට ගණයේ කාව්‍ය නිර්මාණ ගොඩ නැගුණු බව සත්‍යයි. \”වැස්ස ඉන්නෙත් උණ අරං\” කාව්‍ය සංග්‍රහය එබඳු සුන්දර,නිර්මාණශීලි හා විශිෂ්ට කවීත්වයකට හිමිකම් කියන නිර්මාණයක්.
ලෝකය හා සමාජය ද එහි සිදුවන දෑ ද තත්ත්වාකාරයෙන් දැක, ඒ පිළිබඳ ව ගැඹුරින් සිතා, තම සුවිශේෂී කාව්‍ය හැකියාවන් තුළින් රසවත් ව හා අර්ථවත් ව කාව්‍ය නිර්මාණ හරහා පුද්ගලයා සතු දැනුම පුළුල් කරන්නේ කවියායි. කවියෙකු සැබැවින් ම ලෝකය දෙස අලුතින් බලන්නෙකි. ඔහු නිතර ම අලුත් වන්නෙකි. නොවටිනා යැයි සෙස්සන් විසින් අත් හරිනු ලබන දෙයකින් පවා වටිනා අරුතක ට පණ දීමට ඔහුට හැකියාවක් ඇත. ලොව සෑම වස්තුවකට ම කලාත්මක අගයක් ලබාදෙන්නේ කවියා ය. මේ සොඳුරු කතිකාවතක දිගහැරුම ජපුර සරසවි බිමේ හදවත් දිනාගත් නිර්මාණශීලී කවියෙකු ගැනය. ජපුර සරසවිය වනාහි උගතුන් පමණක් නොව නිර්මාණශීලී විද්‍යාර්ථයින් දැයට දයාද කළ අග්‍රගණ්‍ය සරසවියකි. ජපුර මවගෙන් පන්නරය ලැබූ මේ සොඳුරු කවියා \”වැස්ස ඉන්නෙත් උණ අරං\” කාව්‍ය සංග්‍රහය රචිත කනිෂ්ක මහේන්ද්‍ර නම් ජපුර විද්යාර්ථයායි. ඔහු සමඟ කළ සොඳුරු කතිකාවතක දිගහැරුමයි මෙසේ ඇරඹෙන්නේ. ඉතිං මෙන්න මෙහෙමයි කතාව ගියේ…
ප්‍ර- ඔබ කවුද? ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළහොත්?
මගේ සම්පුර්ණ නම විතානගේ කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න. මගේ ගෙවල් විජේරාමේ. කැම්පස් එක ළඟමයි ඉන්නේ. සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ කොළඹ කේරි විද්‍යාලයට. උසස් පෙළ හැදෑරුවේ කොළඹ නාලන්ද විද්‍යාලයෙන්. කැම්පස් අවුට් වුනේ ගිය අවුරුද්දේ 2019, ඉගෙන ගත්තේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන්. මගේ විශේෂවේදි උපාධිය මානව විද්‍යාව සම්බන්ධයෙන් ලබා ගත්තේ. මමත් ඔබ වගේම J\’pura Flames සාමාජිකයෙක්; හිටපු ලිපි ලියන්නෙක් හා ඡායාරූප ශිල්පියෙක්.
ප්‍ර-ලිවීම ඔබට දැනෙන්නේ කොහොමද?
නිකං ඉන්න වේලාවට දකින දේවල්, හිතෙන දේවල් ඒවා ගොඩක් වෙලාවට කොළ වල ලියවෙනවා. ඊට පස්සේ ඒවා කවි බවට පත්වෙනවා. ගද්‍ය බවට පත් වෙනවා. ගද්‍ය කොටස් වලට පද්‍ය කොටස් ලියවුණා.
ප්‍ර-ඇයි මෙහෙම කවි පොතක් ලියන්න හිතුණේ? එයට මුල් වුණු හේතු මොනවද මොකක්ද මේ පොතේ කතාව? මේ ඔබගේ කුළුදුල් කවි කෘතියයි. ඉතිං මේ මහා පරිශ්රමය යට කතාව කුමක්ද?
කොහොමද එක කියන්නේ. මෙහෙමයි. සාමාන්‍ය පෙළ කාලේ අපිට සිංහල සාහිත්‍ය විෂය තිබ්බා. අපි සාහිත්‍ය අච්චු පොතේ ඒ කවි කියවනවා. ඒ කාලේ අපිට එක එක ජාතියේ කවි හම්බෙනවා. හැබැයි ඒ කාලේ ලොකුවට ම කවි ගැඹුරට ම තේරුම් ගන්න තරම් මං දන්නෑ මට එච්චර දැනුමක් තිබ්බද කියන්න. හැබැයි එක එක කවි තිබ්බා අපි ආසාවෙන් කියවපු. ඊට පස්සේ උසස් පෙළට සිංහල කරන්න ගත්තා. ඒලෙවල් කාලේ පුරාතන පද්‍ය සාහිත්‍යය, නුතන පද්‍ය සාහිත්‍යය ඔහොම කොටස් තිබ්බා. සාමාන්‍ය පෙළ කාලේට වඩා වෙනස් විදිහට තමා අපි උසස් පෙළ කාලේ කවිය දැක්කේ. ඒලෙවල් මැත්ස් කරන කෙනෙක් ගාණක් හදලා ඉවර වුණාට පස්සේ \”ෂා මං කොහොම හරි ගාණ හදා ගත්තනේ\” කියලා මාර සතුටක්නේ එන්නේ. ඒ වගේ හැඟීමක් තමා ඒලෙවල් කාලේ කවියක් ලියලා දැනුණේ. ඒ කියන්නේ කවිය කියවලා කවිය ඇතුළේ මොකක්ද හැංගිලා තියන තේරුම, එතකොට කවිය විචාරය කරන්න පටන් ගන්නවා. කවි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔහොම ඔහොම කවිය හිතට වදින්න පටන් ගත්තට පස්සේ හිතෙන හිතෙන දේවල් එක එක තැන් වල ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ ලියපු දේවල් එක තැනකට එකතු කරලා තමයි පොතක් විදිහට එළි දැක්වුවේ.
ප්‍ර- මේ කවි පොතට වැස්ස ඉන්නෙත් උණ අරං කියන නම යෙදුවේ ඇයි? එයට විශේෂ හේතුවක් තියනවද?
මගේ කවි පොතේ තිබුණු කවි පන්තියක මාතෘකාවකින් තමා මේ විදිහට පොතට වැස්ස ඉන්නෙත් උණ අරං කියලා නම එන්නේ. ඒක නිකං මෙහෙම හිතන්නකෝ. මිනිසුන්ව ලෙඩ කරනවනේ වැස්ස. මිනිස්සු වැස්සට තෙමුණට පස්සේ ලෙඩ වෙනවා. හැබැයි අපිට බැරි ද හිතන්න වැස්සත් දවසක ලෙඩ වෙලා තියෙයි කියලා. ඒ වගේ දෙයක් තමා මං එළියට දීලා තියෙන්නේ.
ප්‍ර-මේ කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍යයන් හි කතා බීජයන් කුමන ආකාරයේ ඒවාද?
මේකේ තියෙන්නේ, මට සිද්ධ වෙච්ච දේවල් තියනවා. ඊට පස්සේ මං අහපු දේවල් තියනවා. මගේ යාළුවන් ට සිද්ධ වුණු දේවල්, අනුරූපයෙන් ලැබෙන මාධ්‍ය වලින් වු අත්දැකීම්, මේවා තමා කවි වලින් එළියට ඇවිත් තියෙන්නේ.
ප්‍ර-රසය ආත්ම කොට ගත් වාක්‍ය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග්රහ කිරීම අමාරු යි. එකිනෙකා ගේ ශක්තිය අඩු වැඩි වශයෙන් කවියක අර්ථ රසය පාඨකයෝ විඳිනවා. කවි රසවින්දනය හා කාව්‍යකරණය ඔබ දකින්නේ කොහොමද?
එක රාමුවක් ඇතුළේ හිරවෙන්නෙ නැතුව තමන් ගේ හිතට එන දේවල්, තමන් විඳින දේවල්, තමන්ට ලැබෙන අනුරූපීන් සහෘදයාට තමන් ගේ කරගන්න පුළුවන් වෙන විදිහට, ඒ කියන්නේ මම ලියන දෙයක් ඔයාට ඔයා ගේ කරගන්න පුළුවන් නම් එතන තමා කතුවරයා සාර්ථක වෙන්නේ කියලා මං විශ්වාස කරන්නේ. එතකොට සහෘදයා කියවනකොට දැනගන්න ඕනේ. මේ කියවන මොකක් හරි දෙයක් ගද්‍යයක් හෝ පද්‍යයක් වේවා තමන් ගේ ජීවිතයේ තැන් තැන් වල තියෙන හිඩැස් වලට හෝ මතකයන් වලට හෝ වෙන යම් දේකට තමන් ගේ දෙයක් බවට පත් කර ගන්න. එතකොට ඒ ශක්‍යතාවය සහෘදයාට දෙන්න කතුවරයා සතු වෙන්න ඕන. ඒ වගේ ම තමා කියවන දේ තමන් සතු කරගන්න සහෘදයාට බුද්ධිමය ශක්‍යතාවයක් තියෙන්න ඕන.
ප්‍ර-ජීවිතය, සමාජය, සංස්කෘතිය, ආදරය, විරහව වැනි තව බොහෝ සංකල්පයන් කවිය තුළින් බොහෝම අපූරුවට ඉදිරිපත් කරන්න පුළුවන්. \”වැස්ස ඉන්නෙත් උණ අරං\” කවි පොත හරහා ඔබ සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවාද? එහෙමත් නැත්නම් මේ පොත එළි දැක්වීමේ අරමුණ ?
උපදේශ සම්පාදනය කියන්නේ සාහිත්‍යයේ තියෙන වෙනම පැතිකඩක්. දැන් ඔය බණ කතා පොත් තියෙන්නේ. ඒවා මුලිකව ම උපදේශ සම්පාදනය අරමුණු කරගෙන ලියලා තියෙන්නේ. මගේ කවි පොතේ නම් උපදේශ සම්පාදනයක් නම් අරමුණු කරගෙන නෑ. මගේ අත්දැකීම් සහෘදයාට රස වින්දනය කරන්න දෙන්නයි සහෘදයා සමඟ එය බෙදාගැනීම තමා මං බලාපොරොත්තු වෙන්නේ.
ප්‍ර-කවියෙකු ලෙස වර්තමාන සමාජය දකින්නේ කොහොමද?
වර්තමාන කවියෝ හෘද ගෝචර කවි වලට වඩා බුද්ධි ගෝචරභාවය ඉස්මතු කරන කවි ලියන්න පොඩ්ඩක් වැඩිපුර පෙළඹිලා තියනවා කියලා මට හිතෙනවා. බුද්ධි ගෝචර කවි ලියවෙන්න ප්‍රධාන හේතුවක් ලෙස වර්තමාන සමාජයේ තියෙන ප්‍රශ්න, ගැටලු වල තියෙන අධික බව කියලා මම හිතනවා.
ප්‍ර- කවිය හුදු රස වින්දන මාධ්‍යයක් පමණක්මද?
ඊට එහා ගිය දෙයක්. ඒ කියන්නේ සාහිත්‍යය කියලා කියන්නේ පුද්ගලයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන දෙයක්. මිනිසුන්ට රසයක් දෙන්න ඕනේ. ඒත් රසයක් දිලා විතරක් එතනින් වැඩක් නෑ. චින්තනමය වශයෙන් මිනිසුන් වෙනස් කරන්නත් කවියට පුළුවන්. කවිය කියන්නෙත් සාහිත්‍යයේ ම කොටසක්. කවියට ඒ කියන ගුණාංග තියනවා. රසවින්දනය වගේම මිනිසුන් හිතන පතන විදිය, චින්තනය වෙනස් කරන්න හැකියාවක් කවියට තියනවා.
ප්‍ර- ඔබ කවියට යොමු වීම සහ කවියෙක් ලෙස ගොඩ නැඟීම පිළිබඳ කතා කළහොත්?
A/L ලියලා ඉවර වෙලා තමා මං මුලින් ම කවි ලියන්න පටන් ගත්තේ. එක එක ජාතියේ ඒවා ලියනවා. ඒවා කවි ද කියන්න දන්නෙත් නෑ. ඊට පස්සේ ලියලා ලියලා ඒවා එකතු වුණාට පස්සේ මං ඒ කවි ටික ගිහිල්ලා අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සර්, අපේ මහාචාර්ය සමන් චන්ද්රරණසිංහ සර්, රුවන් බන්දුජීව අයියා; මං එයාලට ගිහින් මං ලියපුවා පෙන්නුවා. ඇත්තටම මේ කවි ද මේවා කවි වගේ ද නැත්තම් මේවා කිසිම වැඩකට නැති ඒවාද, මේවා කවි පොතක් විදිහට ගන්න පුළුවන්ද කියලා මං චුට්ටක් එයාලගෙන් ඇහුවා. එයාලා දුන්න ප්‍රතිඵල, අදහස් ඔක්කොම එකට එකතු කරලා මං හිතුවා පොතක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා හිතලා මං අනවශ්‍ය කවියක් විදිහට ඉදිරිපත් කරන්න බැරි දේවල් අයින් කරලා කවියක් විදිහට ගන්න පුළුවන් කවි අරන් ඔන්න ඔහොමයි කවි පොතක් විදිහට එය නිර්මාණය කළේ.
ප්‍ර- තරුණ පරපුර කවියට ආකර්ෂණය කර ගැනීමට ආකර්ෂණීය නමක්, ඒ කිව්වේ යම් කිසි වෙනස් ම වු පරස්පර වචන එකතුවක නමක් යෙදිය යුතුද?
නමින් ආකර්ෂණයට වඩා නමින් පුළුවන් මාකට් කරන්න. මම හිතනවා පොත ආකර්ෂණය කරන්න ඕනේ පොත ඇතුළතින් මිසක් පොත එළියේ තියෙන නමින් නෙමෙයි කියලා. පොත පිටතින් පමණක් ආකර්ෂණය පොත කියවන මනුස්සයාට ආකර්ෂණය නැති වෙන්න පුළුවන්.
ප්‍ර- නූතන කවිය දියුණු කිරීමට අවංක ව වෙහෙසෙන නවක කවියෙකු ට ගමන් කිරීමට සිදු ව ඇති අතිශය දුෂ්කර මාර්ගයකයි. පොත ලිවීමේ දි අනිවාර්යෙන් ම විවිධ අභියෝගයන් ට මුහුණ දෙන්න ඇති. ඒ අභියෝගයන් මොනවාද?
මං මේ පොත ලිව්වේ Final year එකේදි. ඉගෙන ගන්න කොට පොතක් ලියනවා කියන්නේ අනිවාර්යෙන් මූල්‍ය ප්‍රශ්න ත් එනවා. ගෙදරින් ඒ දේවල් වලට සහයෝගය ලැබුණා. මගේ පළමු පොත නිසා මේක චුට්ටක් වෙනස් විදිහට launch කරන්න ඕනේ කියලා ඔළුවේ අදහසක් තිබුණා. මගේ ඒ හැමදේකටම හිටියේ මගේ යාළුවෝ සෙට් එක. මගේ ළඟම යාළුවෝ එයාලා තමා මට උදව් කළේ. එයාලා නැත්නම් මේ පොත කොහොමත් මට එළියට දාගන්න හම්බෙන්නෑ. ඉතින් මං හිතනවා මං අභියෝග ටික සාර්ථකව ජයගත්තා කියලා.
ප්‍ර- ලිවීම සම්බන්ධයෙන් ඔබේ ඉදිරි වැඩ කටයුතු කොහොමද?තවත් මෙවැනි ම පොත් ලිවීමේ අදහසක් තියනවද?
දැනට නම් එහෙම අදහසක් නෑ. මොකද ඇත්තටම මේ දවස් වල පොතක් ලියන්න තරම් ලොකු නිදහසක් නෑ. නිදහස අඩුයි. හැබැයි ලියනවා. එක එක ජාතියේ ඒවා ලියනවා. ඒවා කවි ද දන්නෙත් නෑ. කෙටිකතා ද නවකතා ද කියලා දන්නෙත් නෑ. එක කියවන කෙනාට භාර කරලා එක එක ජාතියේ ඒවා ලියනවා. අපි ඉස්සරහට බලමු. නිදහසක් ලැබුණොත් පොතක් වගේ දෙයක් එළියට ඒවි.
ප්‍ර- ලේඛන කලාවේ නියැලෙන තරුණ පරපුර වෙනුවෙන් ඔබට කියන්න විශේෂ පණිවිඩයක් තියනවද?අනාගත පරපුරට ඔබ දෙන මඟ පෙන්වීම එහෙමත් නැත්නම් ආදර්ශය මොන වගේ එකක් ද?
දිගටම ලියන්න. ලියන එක නතර කරන්න එපා. මිනිස්සු සතුටට, දුකට ලියනවා. ඒ වගේම මිනිස්සු ආදරය, විරහව වෙනුවෙන් ලියනවා. හැමදේම වෙනුවෙන් මිනිස්සු ලියනවා. ඒ වගේම කියවනවා. ලියන මිනිස්සු වගේම ඒ ලියන දේවල් කියවන මිනිස්සු ඉන්නවා. ඒ කියවන මිනිස්සු වෙනුවෙන් ලියන්න. ලියන එක නතර කරන්න එපා. ලිවීමත් හරියට නිවීමක් වගේ. මට කියන්න තියෙන්නේ ලියන අයට කවදාවත් ලියන එක නතර කරන්න එපා කියලා.
නිර්මාණශිලිත්වයේ නව මානයන්, රසමුසු තැන් සොයා යන්නට ඔබට J\’pura Flames අපගේ හදපිරි සුභපැතුම්…
Written by: Krishani Chamodika
Designed by: Yasiru Chamalka