ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් – Independence Day 2021

වසර ගණනාවක් මුළුල්ලේ බටහිර ජාතීන් ගේ ආක්‍රමණ හා පාලනයට නතු ව සිටි අප බටහිර යටත්විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ අදින් වසර 73ක ට පෙර දවසක ය. එනම්, වර්ෂ 1948 පෙබරවාරි 04 වැනිදා ය.

එදා වීරෝදාර නායකත්වයේ මඟ පෙන්වීම මත දියත් කළ අරගලයන් ගේ ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යක් බවට පත් විය. ඓතිහාසික ප්‍රථම නිදහස සැමරීමේ නිල උත්සවය පෙබරවාරි 10 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විය. ඒ ලැබූ නිදහසේ 73 වන නිදහස් දිනය අදත් නිදහස් චතුරස්‍රයේ අති උත්කර්ෂවත් අයුරින් සැමරීම අපට දැක ගත හැකි ය.

\”ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්\” තේමා කොට ගෙන සමරන ශ්‍රී ලංකා නිදහස් දින උත්සවය ලෝකය පුරා ව්‍යප්ත වී ඇති Covid-19 වසංගත තත්ත්වයේ බලපෑම ට ලක් ව පැවතිය ද විධිමත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෙර පරිදි ම පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

පෙබරවාරි මාසය ආරම්භයේ සිට ම නිදහස් දිනයට සමගාමී ව නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යාල සහ රථ වාහන වල පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව නිදහස සමරන අද දින තුළ, ඉසුරුමත් දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව යථාර්ථයක් කිරීම වෙනුවෙන් ආහාර සහ ඖෂධ යන දේශීය ශාක අවශ්‍යතාවය සැපිරීම සඳහා සුරැකි පරිසරයක සුවැති, හිතැති අනාගතයක ට නව පියවරක් තැබීම උදෙසා රට පුරා රාජ්‍ය ආයතන මගින් සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහන් මෙවර නිදහස් උත්සවයේ දක්නට ලැබෙන සුවිශේෂත්වයකි.

යුධ හමුදා නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් මෙන් ම ශිෂ්‍ය භටයින්ගෙන් සැදුම්ලත් ආචාර පෙළපාලි, ආචාර වෙඩිමුර සමඟ ම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය, ශ්‍රී ලාංකේය සංස්කෘතිය, ශ්‍රී ලාංකික වීරවරුන් ගේ ශක්තිය ධෛර්යය විදහාලන අංගයන් ද නිදහස් දින සැමරුමට එක් වන්නේ ජාතියක් වශයෙන් අප සතු සුවිශේෂීත්වය විදහා පාමින් ය.

දිනූ දේශය වඩාත් අර්ථාන්විත කර ගනිමින් නොයෙක් අභියෝගයන් හමුවේ නො සැලෙන අධිෂ්ඨානයෙන් යුතු ව එක ම රටක්, එක ම ජාතියක් ලෙස අප වෙනුවෙන් අපේ ම යහපත උදෙසා කටයුතු කරන්නට හැකි වන යහපත් අනාගතයක ප්‍රාර්ථනාවත් සමඟ ම ලැබූ නිදහස නියමාකාරයෙන් අත් විඳින්නට හැකි යහපත් ඉදිරි ගමනක බලාපොරොත්තු පොදි බඳිමින්, පවතින වසංගත තත්ත්වය ජය ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය අප රකින විරුවන් ට ලැබේවා ය යන ප්‍රර්ථනාවත් එක සිතින් ප්‍රා‍ර්ථනා කරමු. 73 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු.

Written by : Hasini Jayaweera
Designed by : Akila Dilshan Wickramathilake

#JpuraFlames #OfficialMediaGrid #USJ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top