\”ඕනෑම නිර්මාණයක තිඹිරිගෙය වෙන්නේ නිර්මාණකරුවාගේ චිත්ත සන්තානය\”- ශේන්යා ප්‍රනාන්දු, මුරණ්ඩු bubblegum සමඟින්…
ලිවීමේ කලාව කියන්නේ රසාස්වාදයක් උද්දීපනය කරමින් හදක් නිවා සුවපත් කළ හැකි භාවනාවක් මෙන්ම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල අවියකි. නිර්මාණශීලී ශෛලියකින් සිතුවිල්ලකට පණ පොවා, එය වදනකට පෙරළන්නට නිර්මාණකරුවන් සතු හැකියාව අපූරුය.
තම ජීවන අත්දැකීම් නවමු මානයකින් දකිමින් තම චිත්ත සන්තානයේ හට ගන්නා අදහස් ද රසාලිප්ත ලෙස මුහු කරමින් දොරට වඩින ලද \”මුරණ්ඩු bubblegum\” කෘතිය ලාංකීය ලේඛන ක්ෂේත්රයට ජ\’පුර විද්‍යාර්ථියෙකු ගේ තවත් එක් කුළුදුල් ආගමනයක්.
ජ\’පුර සරසවි බිමෙන් දායාද වූ දක්ෂ කලා නිර්මාණකරුවන් ගොන්නට එකතු වන තවත් එක් ජපුර විද්‍යාර්ථියෙක් වන, කාව්‍ය
නිර්මාණකරණයෙන් තම ලිවීමේ කලාවට අත් පොත් තබා කෙටි කතා, කවි හා ගී පද රචනා යන අංශ ඔස්සේ කලාවේ සියුම් තැන් සහෘදයාට මනාව සමීප කරන්නට සමත් වූ ඇය නමින් ශේන්යා ප්‍රනාන්දු.
ජපුර සරසවි සෙවණින් පන්නරය ලැබූ යෞවන ලේඛක ලේඛිකාවන් සොයා ගිය \”ජපුර ලියන්නෝ සමග කතා බහක්\” ගමන් මඟේ ශේන්යා ප්‍රනාන්දු සොයුරියත් සමඟ සිදු කළ රසාලිප්ත කතා බහේ දිග හැරුමයි මේ.
ප්‍ර: මුලින්ම ඔබ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමින් අපේ කතා බහ ආරම්භ කරමු.
මම ශේන්යා ලක්ෂානි ප්‍රනාන්දු. මූලික අධ්‍යාපනය ලබන්නේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයෙන්. මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ ජන සන්නිවේදනය විෂයන් හදාරා උපාධිය අපේක්ෂාවෙන් ඉන්නවා.
ප්‍ර: ලිවීම කියන්නේ කලාවක් වගේම එක්තරා හැකියාවක්. ගද්‍ය මෙන්ම කාව්‍ය ලේඛිකාවක් විදියට ඔබට ලිවීම කියන එක දැනෙන්නේ කොහොමද?
මෙහෙමයි. ඇහැට ඇඟිල්ලෙන් අනින හෝ හදවතට තට්ටු කරන හෝ දුක, සතුට ආදී වශයෙන් හෝ අපේ මනෝ භාවයන් පුබුදුවන ඕනෑම දෙයක් අප සමග තබා ගැනීම මිනිස් ස්වභාවයක්. එය ඡායාරූපයක් තුළ හෝ වීඩියෝ පටයක් තුළ හෝ ගබඩා කරගන්නක් වෙන්න පුළුවන්. නැත්නම් දිනපොතක ලියන කුඩා සටහනක් වෙන්න පුළුවන්. එතකොට ඔය කියපු ළඟ තබා ගැනීමේ දිගුවක් විදිහට යම් කිසි නිර්මාණාත්මක ආකෘතියක් ඇතුළේ භාවයක් රසාලිප්තව පවත්වාගැනීම ලිවීම කියලා සරලව දක්වන්න පුලුවන්. එය නෛසර්ගිකව ම ලැබෙන්නක් හෝ සතතයෙන් තමා තුළ ඇති කරගත්තක් විය හැකියි.
ප්‍ර: ඔබ ලිවීම පටන් ගත්තේ කොහොමද? ඒ සඳහා ඔබට උනන්දුව, පෙළඹවීම සපයන්නේ කවුද?
මා තුළ සුහුඹුල් ලියන්නෙක් ඉන්නවා කියලා මම දැනගන්නෙත් ලිවීමට අඩිතාලම වැටෙන්නෙත් මගේ පාසල නිසා. විශ්වවිද්‍යාලයේ නම්නීකරණ වැඩසටහනෙදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහයන් සාහිත්‍ය සම්බන්ධයෙන් දෙන දේශනයක් අවසානයේ දී මම මට ම පොරොන්දු වෙනවා මා තුළ සිටින නිද්‍රාශීලී ලියන්නාව අවදි කර ගන්නා බව. සමාජ මාධ්‍ය තුළ සිටින ලියන්නන් වගේ ම සාහිත්‍යයට ලැදි විශ්ව විද්‍යාල ප්රජාවත් මගේ ලිවීමට මාහැඟි උත්තේජනයක්, උත්ප්‍රේරකයක් වෙනවා. පොත් පිටිපස්සේ, කටු කොළ වල ලියැවෙන කවි පද, කෙටිකතා සයිබර් අවකාශයේ ලියවෙන්නේ එතනින් පසුවයි. ඒ හැම උත්සහයකම ඵලය වෙන්නේ මුරණ්ඩු bubblegum.
ප්‍ර: ඔබ පොතක් ලියන්න තීරණය කළේ ඇයි? ඒ සදහා මුල් වුණු විශේෂ හේතු තියනවද?
පොතක් ලිවිය යුතුයි කියන අදහස පැවතියත් ඒ කවදාද, කොහෙදිද, කුමක් සම්බන්ධයෙන්ද කියන මතයක මා සිටියේ නෑ. නමුත් ලියන සහ ලිවීම අගයන විශ්වවිද්‍යාල සහෘදයන් බොහෝ පිරිසක් සිටීම පොතක් එළි දැක්වීමේ තීරණය කඩිනම් වීමට බලපෑ ප්‍රබල සාධකයක් වුණා. අනෙක් අතට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුසුමලතා ලංකාමුල්ල, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ ආදී සාහිත්‍යකාමීන් සහ කලාකාමීන් ජපුර සතු වීමත් ජපුරේ ලියන්නන්ට ආශිර්වාදයක් වන බව ප්‍රසිද්ධ රහසක්.
ප්‍ර: මුරණ්ඩු bubblegum නම ඇසූ පමණින්ම විශේෂත්වයක් තියනවා. මේ නම පිළිබඳවත් කෘතියට පාදක වුණු තේමාව පිළිබඳත් කතා කරමු?
මෙතනදි මම ජිවිතය කියන දේ දකින්නේ බබල්ගම් එකක් විදිහට. හැම බබල්ගම් එකකම පැකට් එක කඩනකොට එක සමාන රසයක් සහ සුවඳක් තියෙන්නේ. ඒ වගේම සුවඳ, රස, පාට අනුව බබල්ගම් විශේෂයක් තවත් බබල්ගම් විශේෂයකින් වෙනස් වෙන්න පුළුවන්. ජීවිතෙත් ඒ වගේ තමයි. සමහර දේවල් හැමෝටම එක සමානව ලැබෙනකොට සමහර දේවල් තවත් පැත්තකින් වෙනස් වෙන්න පුළුවන්. නියමිත ප්‍රමාණයට බබල්ගම් භාවිතය ආහාර රුචිය වැඩි කරනවා වගේ ම අනවශ්‍ය ඇබ්බැහිය මත ආහාර මාර්ගයේ හට ගන්න සංකූලතා අතිශය වේදනාකාරී වෙන්න පුළුවන්. ජීවිතෙත් ඒ වගේ තමයි. විඳීම සහ විඳවීම අපි ජීවිතේ තෝරගන්න විදිහ අනුව තීරණය වෙනවා. ඒ දේවලුත් එක්ක මගේ ජීවිතේ මං අතිශයෙන් ම සංවේදී වුණ තැන් කිහිපයක් අළලා ලියවෙන කෙටිකතා එකතුව මුරණ්ඩු bubblegum විදිහට එළියට එනවා.
ප්‍ර: මෙම කෘතියේ අන්තර්ගතය පිළිබඳව කෙටියෙන් කතා කළොත්?
කලිනුත් සඳහන් කළා වගේ මේක කෙටිකතා එකතුවක්. දශක දෙකක මගේ ජීවිතය ඇතුළේ මාව වැඩියෙන් ම කම්පනය කරපු සුඛ දුක්ඛ මිශ්‍ර හැඟීම් කිහිපයක් නිර්මාණාත්මකව ස්පර්ශ කිරීමට දරපු ප්රයත්නය මුරණ්ඩු bubblegum විදිහට එළි බහිනවා.
ප්‍ර: කෘතියක් රචනා කරනවා කියන්නෙ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් මෙය සැබෑ කරගන්නා තෙක් ඔබට මුහුණ දෙන්න වුණු අභියෝග මෙනවාද?
පොතක් ලියනවා කියන සිතුවිල්ල හටගන්න තැන ඉඳලා පොත එළිදක්වන තැන වෙනකම්ම අනුගමනය කරන්න ඕන ක්‍රියා පිළිවෙළක් තියෙනවා. විශේෂයෙන් ම පූර්ව අත්දැකීම් නැති කෙනෙක්ට ඒක සංකීර්ණ කටයුත්තක්. ඒ වගේම දේශන සහ විභාග කටයුතු මධ්‍යයේ පොතේ කටයුතු වෙනුවෙන් කාලය කළමණාකරණය කරගැනීමට සිදුවීම අභියෝගයක් වුණා. නමුත් මා වටා සිටි පිරිසගේ දිරිගැන්වීම් සහ සහයෝගය මත සියල්ල නිසි ආකාරයෙන් කර ගැනීමට හැකියාව ලැබුණා.
ප්‍ර: වර්තමාන සමාජය තුළ පොත් ලිවීම කියවීම පිළිබඳව ඔබ දරන අදහස කුමක්ද?
ඕනෑම නිර්මාණවේදියෙකු ගේ පරමාර්ථයක් වන්නේ නිර්මාණයක් වැඩි සහෘද පිරිසක් තුළ සංසරණය කිරීම. මෙහිදී සමාජ මාධ්‍ය භාවිතයත් සමග නිර්මාණ බිහිකිරීමේ අවකාශයත්, නිර්මාණ පරිශීලනය කිරීමේ අවකාශයත් පුළුල් වෙලා තියෙනවා. ඒනිසා ම ලියන්නන් සහ කියවන්නන්ගේ ප්‍රවණතාවක් දකින්න පුළුවන්.එය සාධනීය තත්ත්වයක්. මේ තත්ත්වයම යම් ආකාරයකට පුනරුදයක් වශයෙන් දක්වන්නත් පුළුවන්.
ප්‍ර: ඔබගේ අනාගත ලිවීමේ කටයුතු සකස් වෙන්නේ කොහොමද? තවත් මෙවැනි කෘති නිර්මාණය කිරීමෙහිලා අදහසක් තියනවද?
ඔව්. මුල් පොත තුළින් ලබපු අත්දැකීම් මත තව පොතක් ලිවිය යුතුයි යන මතයේ මම ඉන්නවා. එය කෙටි කතා පොතක් නැත්නම් කවි පොතක් වෙන්න පුළුවන්. ඒ කුමක් වුවත් මම ම නැවත මගේ අකුරු පෙරළා කියවද්දි ඒ පිළිබඳව මා තුළ ම තෘප්තියක් ඇති කළ හැක්කක් විය යුතුයි. ලියන්නා තුළ තමන්ගේ ලිවීම පිළිබඳව තෘප්තියක් නැත්නම් සහෘදයා තුළ තෘප්තියක් ඇති වන්නෙත් නෑ.
ප්‍ර: ගද්‍ය හෝ පද්‍ය ග්රන්ථ රචනා කරමින් ලේඛකයන් වීමට බලපොරොත්තු වන අනාගත පරපුරට ඔබ දෙන පණිවිඩය මොකක්ද ?
ඕනෑම නිර්මාණයක තිඹිරිගෙය වෙන්නේ නිර්මාණකරුවාගේ චිත්ත සන්තානය. එතනින් හුස්ම ගන්න පටන් ගන්න නිර්මාණ තමයි සහෘද පිරිසක් ඉස්සරහා දොරට වඩින්නේ. නිර්මාණයකට වස්තු විෂය වෙන්නේ පෞද්ගලික හෝ පොදු හෝ අත්දැකීමක් හෝ පරිකල්පනය තුළින් නිර්මිත සිදුවීමක් හෝ වෙන්න පුලුවන්. ඒ කුමක් වුවත් සමාජය සමග ගැටී ලබා ගන්නා අත්දැකීම් සමුදාය නිර්මාණයේ ගුණාත්මක බව සහ අන්තර්ගතය කෙරෙහි අනුලෝමව සමානුපාතික වෙනවා. නිර්මාණයක් රසින් හෝ බසින් හෝ පොහොසත් වීමට නම් නැවත නැවත කියවිය යුතුයි; දැකිය යුතුයි සහ විමසිය යුතුයි.
කලාවේ රසය මනාව ස්පර්ශ කර කෙටි කතා,ගී පද රචනා සහ කාව්යම නිර්මාණ බිහි කරමින් ජ\’පුර විද්යර්ථයෙකු ලෙස ඉදිරියට යන ඔබේ අනාගත ගමන් මඟට J\’pura Flames අපගේ හද පිරි සුභාශිංසන!
Written by: Pawani Nisansala
Designed by: Yasiru Chamalka