මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයෙන් සුවිශේෂී ගෞරව උපාධියක් හඳුන්වා දෙයි

විද්‍යාර්ථීන්ගේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීමේ අවශ්‍යතාව හා අරමුණ පෙරදැරි කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් එහි විද්‍යාර්ථීන් සඳහා වන නවතම උපාධි පාඨමාලාව වශයෙන් ජපන් භාෂාව සඳහා වන ගෞරව උපාධිය 2022 වර්ෂයේ පෙබරවාරි 17 වන දින හඳුන්වා දීමට කටයුතු කරනු ලැබී ය.

විදේශීය භාෂාවන් හැදෑරීමේ අවස්ථාවන් හරහා රැකියා ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතාවන් විද්‍යාර්ථීන් සඳහා හඳුන්වාදීම පීඨයේ උපායමාර්ගික අභිමතාර්ථයන් අතර සුවිශේෂී සන්ධිස්ථානයක් ගනු ලබයි. ඒ අනුව, නැවුම් අවස්ථාවන් විවර කරමින්, ජාතීන් දෙක අතර බැඳියාවන් වර්ධනය කිරීමේ අරමුණ ඇති ව මෙම ජපන් භාෂාව සඳහා වන ගෞරව උපාධි පාඨමාලාව අභිනවයෙන් හඳුන්වාදීම, රටවල් දෙක අතර සුහදතාව සහ අන්‍යොන්‍ය අවබෝධය තවත් ශක්තිමත් කරලීම සඳහා ඉතා වැදගත් පියවරක් වශයෙන් දැක්විය හැකි වේ.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශ්‍රී සුමංගල කියැවීම් ශාලාවේ දී 2022 පෙබරවාරි 17 වන දින උත්සාවාකාරයෙන් මෙම අවස්ථාව සමරනු ලැබීය. ඒ සමඟ ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර වසර 70 ක් තුළ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සිහිපත් කරමින් සැමරුමක් ද මෙහි දී සිදුවිය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජපානයේ ශ්‍රී ලංකා තානාපති H.E. Mizukoshi Hideaki මහතා සහභාගි විය. මීට අමතර ව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද යන මහත්වරු සහ විශ්වවිද්‍යාලයේ අනෙකුත් පීඨයන්ගේ පීඨාධිපතිවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ විශ්වවිද්‍යාල සිසුහු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

Written by: Chirasha Charmee
Designed by: Tharini Samudika

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top