අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව ව්‍යවහාරික විද්‍යා පීඨයට .

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු ඒකකය මඟින් සංවිධානය කරන ලද අන්තර් පීඨ පාපන්දු තරඟාවලිය අද දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරතාව හිමිකරගැනීමට ව්‍යවහාරික විද්‍යා පීඨ කණ්ඩායම සමත් විය.

පීඨ හතරක් නියෝජනය කරමින් කණ්ඩායම්, තරඟාවලිය වෙනුවෙන් එක්වෙද්දී පීඨ කිහිපයක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මිශ්‍ර කණ්ඩායමක් හා ශාරීරික විද්‍යා අධ්‍යයනාංශයේ කණ්ඩායමක් ද තරඟාවලිය වෙනුවෙන් එක්විය. මූලික වටය තුළ දී එක් කණ්ඩායමක් තරඟ දෙක බැගින් ක්‍රීඩා කළ අතර, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගත් කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසු වූ ව්‍යවහාරික විද්‍යා පීඨය, ඉංජිනේරු පීඨය, ශාරීරික විද්‍යා අධ්‍යයනාංශය හා කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අවසන් පූර්ව වටයේදී මුණ ගැසුණි. අවසන් පූර්ව වටයේ දී ගෝල 2-0ක් ලෙසින් ශාරීරික විද්‍යා අධ්‍යයනාංශය පරාජයට පත් කළ ව්‍යවහාරික විද්‍යා පීඨ කණ්ඩායමත්, ගෝල 2-0ක් ලෙසින් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය පරාජයට පත් කළ ඉංජිනේරු පීඨ කණ්ඩායමත් අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලැබීය.

උණුසුම් මුහුණුවරක් ගත් අවසන් මහා තරඟයේ නියමිත කාලය නිමාවට පත් වන විට ලකුණු පුවරුව ගෝල 2-0 ලෙසින් දිස්වූයේ ව්‍යවහාරික විද්‍යා පීඨ කණ්ඩායම, අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පළඳවමිනි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ජූඩ් සුමන් අවසන් මහා තරගයේ ගෝල ද්විත්වය වාර්තා කිරීමට සමත් විය. අන්තර් පීඨ පාපන්දු තරඟාවලියේ ශූරයන් ලෙසින් අභිසෙස් ලද ව්‍යවහාරික විද්‍යා පීඨ පාපන්දු කණ්ඩායමට J\’Pura Flames අපගේ උණුසුම් සුබපැතුම්.

Written by : Chathura Ramanayake
Designed by : Induwara Gamage

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top