ජාතික පාපන්දු කණ්ඩායමට ජපුර ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇත.

එළඹෙන වසරේදී පැවැත්වෙන AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තුන්වන වටය උස්බෙකිස්තානයේදී පැවැත්වීමට නියමිත ය. සුදුසුකම් ලැබීමේ තෙවන වටයේ C කාණ්ඩය යටතේ තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නම් කෙරිණි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙවර ද නම් කොට ඇති අතර කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට හා දත්ත විශ්ලේෂණයට විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙකු සම්බන්ධ වනු ඇත.

විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ වර්තමාන නායකයා වන ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ සිව්වන වසර ඉගෙනුම ලබන ජූඩ් සුමන්, ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ දෙවන වසර අධ්‍යාපන කටයුතු හදාරන මොහොමඩ් මුස්තාක් මෙවර ද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට නම් කොට ඇත. විශ්වවිද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේ වර්තමාන උප නායකයා වන ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසර අධ්‍යාපන කටයුතු හදාරන සංඛ ජයමිණ මෙවර ද ජාතික පාපන්දු කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙසින් කටයුතු කරනු ඇත. එමෙන් ම, විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථියෙකු වන රවීන් චතුරංග මෙවර ද ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට සිය දායකත්වය ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමක් මෙලෙස ඉතිහාසයේ පළමු වරට AFC ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තෙවන වටය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව සමඟින් C කාණ්ඩය යටතේ උස්බෙකිස්තානය, තායිලන්තය හා මාලදිවයින තරග වැදීමට නියමිත ය. මෙම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව ඉහළ ම ස්ථාන දෙක හිමිකරගන්නා කණ්ඩායම් ද්විත්වය එළඹෙන වසරේදී ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබනු ඇත. ජාතික කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණයන් අත්කර දෙන්නට වරම් ලද ජපුර ක්‍රීඩකයන්ට විශ්වවිද්‍යාලයීය සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් J\’pura Flames අපි අපගේ උණුසුම් සුබ පැතුම් එක්කරන්නෙමු.


Written by: Kanchana Sewwandi
Designed by: Dumindu Sasanka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top