ජීවමාන ශ්‍රී සෝරත නාමය

ලෝකයේ යම් ජාතියක්, ජාතියක් ලෙස ආරක්ෂා වී පවතිනුයේ ඔවුන් ට ආවේණික භාෂාව ආරක්ෂා වී පවතින තාක් පමණි. ජාතිය රකින්නට නම් ජාතියේ පදනම වන භාෂාව රැකිය යුතු බව පසක් කළ ශ්‍රී සෝරත හිමියෝ රචනා කරන ලද කෘතීන් අතර ශ්‍රී සුමංගල ශබ්දකෝෂය භාෂා ශාස්ත්‍රයට කළ අනුපමේය සේවාවයි. භාෂා නෛපුණ්‍යත්වය සේ ම ගැඹුරු පාණ්ඩිත්‍යයත්, නිවැරදි ජීවිතයත් නිසා උන්වහන්සේ මෙරට මෙන් ම දේශාන්තරයේ ද ගෞරවාදරයට පත් වූහ.

විද්‍යෝදය විශ්ව විද්‍යාලය සෝරත නාහිමියන් ගේ නායකත්වයෙන් ආරම්භ වීම හුදෙක් ම ලංකාවට අධ්‍යාපන ආයතනයක් බිහිවීම පමණක් ම නොවේ. එය විශ්වයට අභිමුඛ වූ මහා දොරටුවක් විවෘත වීමක් බව වර්තමානයේ අපට හොඳින් වැටහේ. එය තවත් හොඳින් පැහැදිලි වීමට උන්වහන්සේ අපේක්ෂා කළ ලෝකය කුමක්ද යන්න සොයා බැලීම වටී.

\” මෙම විශ්වවිද්‍යාලයෙන් පොතේ ගුරන් පිරිසක් බිහිවේවායි බලාපොරොත්තු නොවෙමු. ඇති ගුණ වසා ගෙන නැති රුව ගුණ පෙන්වන කුහකයන් පිරිසක් බලාපොරොත්තු නොවෙමු.\”

\”විනෝද නොවන බර කල්පනාවෙන් යුතු තාපසයින් පිරිසක් බලාපොරොත්තු නොවෙමු. ශිෂ්‍යයන් විනෝද විය යුතු ය. විවේචන ශීලී අය විය යුතු ය. ගවේශණශීලී විය යුතු ය. එහෙත් ඒ හැම තැනක ම සත්‍යගරුක විය යුතුය. යුක්ති ගරුක විය යුතු ය. ශිෂ්ට විය යුතු ය. සහය විය යුතු ය. සීමාන්තික නො විය යුතුය.\”

විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති වරයා ලෙස උන්වහන්සේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රැස්වෙන විවේක ශාලාව \”සංථාගාරය\” ලෙස නම් කිරීමෙන් එහි ඇති ගැඹුරු අරුත ගැන බලවත් හැඟීමක් ඇති බව පෙනෙන බව, වරක් මහැදුරු සමන්චන්ද්‍ර රණසිංහයන් විසින් ප්‍රකාශ කරන ලදී. එමෙන් ම ශ්‍රී සුමංගල නාහිමියන් ගේ පිළිරුව ද විශ්ව විද්‍යාලයේ ඉදි කළ සෝරත හිමියෝ දුර්ලභ කෘතවේදී ගුණයෙන් යුක්තයහ. දක්ෂ පරිපාලකයෙකු ලෙස ද දුර දක්නා නුවණින් ගත් තීරණ නිසා අද ජයවර්ධනපුරවිශ්ව විද්‍යාලයට ලෝකයේ විශේෂ තැනක් හිමිවී තිබේ. ඒ සියල්ල මැද මේසා විශාල සේවාවන් රැසක් කිරීම ගැන සලකා දුන් ගෞරව නාමයන් ද ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ තම මාසික දීමනාවෙන් ද කොටසක් ශිෂ්‍ය සුබ සාධක අරමුදලක ට බැර කළහ. වරක් වැලිවිටියේ පඤ්ඤාජෝති හිමියෝ ප්‍රකාශ කළේ සුමංගල ශබ්දකෝෂයත්, විද්‍යෝදය සරසවියත් තිබෙන තුරු සෝරත නාමය ජීවමාන බවයි. එය සැබෑවක් ම ය.

1897 මැයි 23 දින උපත ලබා, 1912 ඔක්තෝම්බර් 15 දින පැවිදිව, 1963 ජූලි 17 දින අපවත් වූ සෝරත නාහිමියෝ වසර පනස් හතක් ඇවෑමෙන් අපට පෙනෙන්නේ යුග පුරුෂයෙකු ලෙසයි.

වැදුණොත් සුරබි සුරතුරු සුර මිණි ළඟට
සිදුවන ලෙසින් රිසි කැප දී සිසු වගට
විදුදය සරසවිය බැබළී යස රඟට
විදුමිණි පහන වේවා මුළු පෙර දිගට

Written by: Rev. Kalalpitiye Wimalasara
Designed by: Yasiru Chamalka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top